#GreenWatch

හම්බන්තොට ගොඩවාය ධීවර වරාය දෙකඩ කර ඇළක් කැපීමෙන් ධීවරයින් දැඩි අපහසුතාවයක

ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාසයන් සඳහා බොහෝ සෙයින් මූලික වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් ය. එම පරිසර පද්ධතියෙන් පද්ධතියට විවිධ වෙනස්කම් දක්නට ලැබුණත් සෘජුව එයින් බලපෑමට ලක්වන්නේ මිනිසා ය. අප දන්නා පරිදි පෘථිවියේ ජීවය පවත්වා ගෙන යන පරිසර පද්ධතිවල සියුම් සමතුලිතතාවයට තර්ජනයක් වන, එකිනෙකට සම්බන්ධ වී ඇති පරිසර පද්ධතීන් වලට පාරිසරික වෙනස්කම් සිදු කිරීම තුළින් සෘජුව හා වක්‍රව බලපෑම් එල්ල කරනු ලබයි.
ඒ ආකාරයෙන් හම්බන්තොට ගොඩවාය කලපුවේ වතුර බැසයාම සඳහා ගොඩවාය ධීවර වරාය දෙකඩ කරමින් වෙරළේ කපා ඇති ඇළ මාර්ගයක් හේතුවෙන් ගොඩවාය ධීවර වරායේ ධීවර කටයුතුවල නියැලෙන ධීවරයින් දැඩි අපහසුතාවයකට පත්වී තිබේ. මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වටිනා ජෛව පද්ධතියක් වූ ගොඩවාය කලපුවට අයත් භූමිය ගොඩකරමින් සිදුකර තිබෙන අනවසර ඉදිකිරීම් හේතුවෙන් කලපුවේ ජලය සමතුලිත කරගැනීමට නොහැකි ආකාරයේ පරිසරයක් නිර්මාණය වීමයි.
මේ හේතුවෙන් ඉතා විධිමත්ව තිබූ ගොඩවාය මුහුදු තීරයේ වෙරළ, එක ස්ථානයකින් මේ ආකාරයෙන් කලපුවේ වතුර බැස්සවීම සදහා දෙකඩ කිරීම හේතුවෙන් කලපුවේ ස්වභාවික පාරිසරික තත්වයන්ට ද දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බව ධීවරයින් මෙන්ම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන කාරණයකි.
එමෙන්ම කිසිදු බාධාවකින් තොරව ධීවර කටයුතු සිදුකරගෙන ගිය ගොඩවාය ධීවර වරායේ ධීවරයින්ට තම ධීවර බෝට්ටු මුහුදින් ගොඩට ගැනීම මෙන්ම, මුහුදට දියත්කිරීම, ඇතුළු සියලු ධීවර කටයුතු මෙම අවිධිමත් ඇළ මාර්ගය හේතුවෙන් ඇහිරී ඇති බව ධීවරයින් පෙන්වා දෙයි.
ගොඩවාය ධීවර වරායේ එදිනෙදා ධීවර කටයුතු සඳහා පිටත් ව යන ධීවර බෝට්ටු 80ක් පමණ ප්‍රමාණයක් සමග සෘජුවම ධීවර කටයුතුවල නියැලෙන පිරිස 300කට අධික ප්‍රමාණයකි. ඒ හරහා තවත් වක්‍රව 500 දෙනෙකු පමණ යැපෙන බව ද ධීවරයින් ප්‍රකාශ කර සිටිති. මෙවන් තත්වයක් හමුවේ ඉතිහාසයේ සිට පැවත එන මෙම ධීවර වරාය, බලධාරීන්ගේ නොසැලකිලිමත්කම මෙන්ම නිද්‍රා සහගත භාවය හේතුවෙන් විනාශ වෙමින් යන බව ධීවරයින් ප්‍රකාශ කර සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගොඩවාය ධීවර වරායේ ධීවර කටයුතුවල නියැලෙන එම්.එම්.සම්පත් මහතා ” මම අවුරුදු 16 ඉඳලා මේ වරායේ රැකියාවේ නිරත වුණා. නමුත් මේ වගේ විනාශයක් කවදාවත් සිදුවෙලා නෑ. අපි බලධාරීන් දැනුවත් කළත් කිසිදු පලක් උනේ නෑ. වෙනදා හතර පස්දෙනෙක් එකෙතුවෙලා ගොඩට ගත්තු බෝට්ටුවක් මේ ඇළ නිසා දැන් ගොඩට ගන්න 50ක් විතර ඕනේ”
එමෙන්ම මෙම තත්වය තුළ ධීවර බෝට්ටු ද දැඩි අවධානමක පවතින බවත් කිසියම් මොහොතක මේ ධීවර බෝට්ටු ගණනාවක් මුහුදේ ගසා ගෙනයාමේ දැඩි අවධානමක්ද පවතින බවත් ගොඩවාය ධීවර සමිතියේ සාමාජිකයෙකු වන තිවංක මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරිනියකගෙන් කළ විමසීමක දී ඇය කියා සිටියේ තමන් මේ සම්බන්ධයෙන් දැනුවත්වීමක් නොමැති බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සිදුකළ විමසීමකදී එහි සහකාර අධ්‍යක්ෂක වරයා කියා සිටියේ අදාළ කලපුව පවතින ප්‍රදේශයේ නිවාස කීපයක් වතුරින් යටවීම වලක්වාලීම සඳහා වෙනත් රාජ්‍ය ආයතන කීපයක් සිදුකළ මෙම කර්යය වෙනුවෙන් මැදිහත්වීමක් පමණක් සිදුකළ බවත් ධීවරයින්ට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් සොයා බැලීමට ස්ථානීය පරීක්ෂාවක් සිදුකරන බවත් ය.
අද වන විට ධීවර වරායේ ධීවරයින්ට රැකියාව අහිමි වනවා සේම අගනා පරිසර පද්ධතියක් වන කඩොලාන සහිත ගොඩවාය කලපුව ද තර්ජනයට ලක්වී තිබේ. නමුත් මේ සියලු කාරණාවන්ට බලපා ඇත්තේ මිනිසා විසින් සමතුලිතව තිබූ පරිසර පද්ධතියක් අසමතුලිත කිරීමයි.

Share this message on your Social Network
Jinara Thejana

Jinara Thejana

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Climate Watch (TCW) uses climate journalism and responsive storytelling to advance climate justice, highlighting the disproportionate impacts of climate change on marginalized groups—particularly women, girls, farmers, fishers, and other vulnerable populations. Through RTI and investigative journalism, we promote transparency and accountability in climate initiatives.

Copyright © Climate Watch – 2025. All Right Reserved.